සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා වු මධ්‍යස්ථානය
සමකාලීන
සංස්කෘතිය අධ්‍යයනය විෂයෙහි 2002 සුවිශේෂි වර්ෂයක් වේ. එක් අතකින්
එංගලන්තයේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය විසින් සිය චිර ප්‍රසිද්ධ
පර්යේෂණායතනයක් වූ සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය වසා දැමීම යි. අනෙක් අතට ඊට විරෝධය පාමින් ම බොහෝ ආසියානු
ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල විශ්වවිද්‍යාල මෙම විෂය ඉගැන්වීම
ආරම්භ කළ වර්ෂය ලෙස මෙම වසර සටහන් වීමයි. ලංකාවේ ද ප්‍රථම වරට සමකාලීන
සංස්කෘතික අධ්‍යයනය විශ්වවිද්‍යාලයක් තුළ ඉගැන්වීම ආරම්භ වුයේ 2002 වර්ෂයේ
දී ය. ඒ රැහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සිංහල විශේෂවේදී
සිසුන් සඳහා වෛකල්පික විෂයක් ලෙසිනි. දර්ශන ලියනගේ හා මා පාඨමාලාවේ
භාරකරැවෝ වූහ. පාඨමාලාවෙන් පරිබාහිර සිසුන්ට ද ෙද්ශන සඳහා
සහභාගී වීමට බාධාවක් නොවීය. වෙනත් අධ්‍යයනාංශවල ආචාර්යවරැ ද දේශන හා
ක්‍රියාකාරකම් සඳහා සහභාගී කරගැනිණ. දේශන බොහෝ සෙයින් සංවාදාත්මක විය.
“ප්‍රැන්ක්ෆර්ට් ගුරැකුලයේ” මාක්සියානු මතවාදවලින් පටන්ගෙන ලාංකේය නූතන
ජනප්‍රිය සංස්කෘතියේ “ජෝතිපාල” පටන් පශ්චාත් නූතන ජනප්‍රිය සංස්කෘතියේ
“සන්තුෂ් -භාතිය” දක්වා සාකච්ඡා කෙරිණ. “ගාන්ධි” වැනි පශ්චාත් යටත් විජිත සිනමා පඨිත මෙන් ම “අපේ ගම” වැනි “මානවවංශවේදී” රචනා ද හදාරන ලදි. සෑම බදාදාවක ම “බදාදා සැඳෑව” නමින් සිනමා දැක්මක් හා දේශපාලනික සාකච්ඡාවක් ආරම්භ කරන ලදි. මේ සාකච්ඡා බොහෝ විට රාත්‍රී දක්වා දිග්ගැස්සිණ.
සංස්කෘතික අධ්‍යයනයේ ඉතිහාසය පිළිබඳ දේශන මාලාවේ බ්‍රිතාන්‍ය ගුරැකුලය පිළිබඳ ඉගැන්වීම මා වෙත පැවරී තිබිණ. එහෙයින් සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය සමග සෘජු ව ම සම්බන්ධ වීමට මට සිදු විය. අප ඒ හා සම්බන්ධ
වු අවදියේ දී ම එය වසා දැමීම සිදු වූ නිසා ඊට එරෙහි ව්‍යාපාරය සමග සම්බන්ධ
වීමට සිදු වූයේ ද නිරායාසයෙනි. මධ්‍යස්ථානය පිළිබඳ මේ කෙටි සටහන එය වසා
දමා වසර අටක් පිරීම නිමිත්තෙණි.
සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා වු මධ්‍යස්ථානය එංගලන්තයේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයට අයත් පර්යේෂණ මධ්‍යස්ථානයකි. 1964 දී “රිචඩ් හොගාට්”
විසින් ආරම්භ කරන ලද අතර එහි පළමු අධ්‍යක්ෂකවරයා වූයේ ද ඔහුයි. එහි
පර්යේෂණ විෂය පථය වූයේ නවමු විෂය ක්ෂේත්‍රයක් වූ “සංස්කෘතික අධ්‍යයනය” යි.
සංස්කෘතික අධ්‍යයනයේ බර්මින්ග්හැම් ගුරැකුලය නොහොත් “බ්‍රිතාන්‍ය
සංස්කෘතික අධ්‍යයනය” ලෙස හඳුන්වනුයේ මෙම මධ්‍යස්ථානයේ ශාස්ත්‍රීය
සම්ප්‍රදානය යි. “ස්ටුවර්ට් හෝල්” වැනි බර්මින්ග්හැම් ගුරැකුලයේ
න්‍යායිකයන් සංස්කෘතික නිෂ්පාදන තුළ “නිෂ්පාදකයා” හා “පාරිභෝගිකයා” යන
ද්විභේදය නිර්මාණය වන අයුරැ පෙන්වා දෙන ලදි. සංස්කෘතික පඨිත තුළ, ඇතැම්
විට පොදුජන සංස්කෘතික නිෂ්පාදන තුළ පවා දක්නට හැකි එම පාරභෞතික ද්විභේදය
පිළිබඳ ප්‍රැන්ක්ෆර්ට් ගුරැකුලයේ “තියඩෝර් ඇඩර්නෝ” වැන්නන් විසින් දියුණු කළ සිද්ධාන්ත හෝල් අතින් සංවර්ධනය කෙරිණ.
බර්මින්ග්හැම්
ගුරැකුලයේ අධ්‍යයන ක්ෂේත්‍ර අතර “උප සංස්කෘති අධ්‍යයනය” “ජනප්‍රිය
සංස්කෘතිය” “මාධ්‍ය අධ්‍යයනය” වැනි න්‍යායික ක්ෂේත්‍ර වැදගත් තැනක් ගැනිණ.
මධ්‍යස්ථානයේ න්‍යායිකයන් විසින් සංස්කෘතික අධ්‍යයනය සඳහා අන්තර් ශික්ෂණ
ක්‍රමවේදයක් නිර්මාණය කෙරිණ. ඔවුහු අධ්‍යයන සඳහා විවිධ එළඹුම් භාවිතයට
ගත්හ. ඒ අතර “මාක්ස්වාදය”, “පශ්චාත්-ව්‍යුහවාදය”, “ස්ත්‍රීවාදය”,හා
“ශාස්ත්‍රීය වාර්ගික සිද්ධාන්ත”(critical race theory) යනාදිය
විශේෂ වේ. එමෙන් ම බොහෝ සම්ප්‍රදායික සිද්ධාන්ත වූ “සමාජ විද්‍යාව” හා
“මානව විද්‍යාව” වැනි ක්‍රමවේද ද භාවිතයට ගැනිණ. විවිධ කණ්ඩායම් විසින්
මාධ්‍ය හරහා කරන ප්‍රති නිර්මාණය කිරීම් පිළිබඳ ව ද හදාරණ ලදි.මේ මාධ්‍ය
මවාපෑම්හි බලපෑම ග්‍රාහකයන් කෙරෙහී කවරාකාර වේ ද යන්න අධ්‍යයනය කළ අතර එය
විද්‍යාත්මක විදර්ශනාවකින් යුතු ව හෙළි කිරීම විෂයෙහි මධ්‍යස්ථානික
බුද්ධිමත්හූ තත්පර වූහ.
සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය බොහෝ මූලකෘත පර්යේෂණ හා අධ්‍යයනයන්හි පුරෝගාමී වේ. 1968
දී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වූ ස්ටුවර්ට් හෝල් විසින් භාෂාවේ “සංඥාර්ථවේදී”
භාවිතයට අදාල මූලික සංකල්පයක් වූ “කේථකරණය” හා “විකේථනය” Encoding/Decoding පිළිබඳ සිද්ධාන්තය
හඳුන්වා දෙන ලදි. මධ්‍යස්ථානය විෂයෙහි ඉතා ම වැදගත් කරැණ නම් සමකාලීන
සමාජ අර්බුධ නිවාරණය දෙසට යොමු වූ සාමූහික පර්යේෂණ ක්‍රියාවලිය යි. ඔවුහූ
නීති හා රෙගුලාසි පිළිබඳ කළ අධ්‍යයන එවකට දියුණු වෙමින් පැවති මංපැහැරීම් සංස්කෘතිය දෙසට යොමු විණ. බ්‍රිතාන්‍ය තුළ 1970 දශකයේ අග භාගයේ වසංගතයක් ව පැවති "mugging" ලෙස හැඳින් වූ බොහෝ විට කලු ජාතිකයන් විසින් කරනු ලැබූ “මහමග මහදවල් අපරාධ” කෙරේ මධ්‍යස්ථානය විශේෂ
අවධානයකින් අධ්‍යයනය කරන ලදි. මේ අධ්‍යයනවලින් පෙර දකින ලද බොහෝ නීති
තේමා 1980 දී බලයට පත් “මාග්‍රට් තැචර්”ගේ “කොන්සෙවටිව්” පාලනය විසින්
නීති ලෙස පණවන ලදි. මධ්‍යස්ථානයේ තවත් කැපී පෙනෙන බුද්ධිමතෙකු වශයෙන් එහි
හිටපු අධ්‍යක්ෂ රිචට් ජොන්සන් හැඳින්විය හැකි ය. හෙතෙම සංස්කෘතික ඉතිහාසය පිළිබඳ පර්යේෂණ වර්ධනය කරන ලදි.
“ආනුභවික” පර්යේෂණ ක්‍රමවේදය වර්ධනය කළ ඩේවිට් මෝලි හා චාලට් බර්න්ස්ඩර්න් විසින් හඳුන්වාදුන් “ද නේෂන් වයිඩ් ව්‍යාපෘතිය” මධ්‍යස්ථානයේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය තුළ කැපී පෙනිණ. ඩොරති හොබ්සන්ගේ ශාස්ත්‍රපති පර්යේෂණය වු “ක්‍රොස් රෝඩ්” (තීර්ත) න්‍යාය හඳුන්වා දීම ඥාන විභාගාත්මක ඛණ්ඩනය විෂයෙහි වැදගත් සම්ප්‍රදානයකි.
පසුකාලීන ව බිහි වූ “සාඩේ ප්ලාන්ට්” සයිබර් න්‍යායිකයෙකු මෙන් ම ස්ත්‍රීවාදියෙකු ලෙස ද ප්‍රචලිත විය. ඔහුගේ Zeroes + Ones: Digital Women and the New Technoculture කෘතිය එහි ඉගැන්විණ. මධ්‍යස්ථානයේ කටයුතු කළ “Identity and Modernity in Latin America” කෘතියේ කර්තෘ වූ චිරප්‍රසිද්ධ චිලියානු සමාජ විද්‍යාඥයෙකු මෙන් ම සංස්කෘතික ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ලරායින් ද අමතක කළ නොහැකි විද්‍යාර්ථියෙකි. 1999 දී අභිනවයෙන් ආරම්භ කළ සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයට එක් වූ ෆ්‍රැන්ක් වෙබ්ස්ටර් තොරතුරැ සමාජයේ ගැටඵ හා සංස්කෘතික හැරවුම්හි වේදනාවන් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි. හෙතෙම 2002 දී මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයට එක් විය.
2002 දී මධ්‍යස්ථානය වසා දැමීම
2002 වර්ෂයේ දී විශ්මයජනක ලෙස සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය වසා දමන ලදි. බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයේ ඉහළ පාලන
අධිකාරිය පැවසූයේ දෙපාර්තමේන්තු ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලියේ අංගයක්
ලෙස එසේ කළ බවයි. මධ්‍යස්ථානගත 14 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයේ හතර
දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තු වෙත අනුයුක්ත කෙරිණ. දෙසීය පණහකට ආසන්න වූ
මූලික හා පශ්චාත් උපාධි සිසුන් සියල්ල වෙනත් අධ්‍යයනාංශ වෙත මාරැ කෙරිණ. මේ
සිසුන්ගෙන් බහුතරය විෙද්ශිකයෝ වූහ. අනතුරැ ව එළඹෙන නිමේෂයේ දී
විශ්වවිද්‍යාල සමාජ විද්‍යා පීඨයේ කාර්ය මණ්ඩලය වාම වාදී ආලෝලනයකින් හඹා
යමින් පැවතිණ. සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන දෙපාර්තමේන්තුව වසා
දැමීමේ තීරණයට එරෙහි ව ප්‍රබල උද්ඝෝෂණ නැග එන්නට විය. එය ලැව් ගින්නක්
පරිද්දෙන් ලොව පුරා පැතිරිණ. බර්මින්ග්හැම් සරසවිය වෙත දස දෙසින් දෝෂාරෝපන
හා විරෝධතා ගලා එන්නට විය. මේ සියල්ලෙහි ආරම්භය වූයේ 2002 වසරේ අප්‍රේල්
කාලය යි. එවකට එහි සිටි ශිෂ්‍යයන් පවසන ලෙස මේ කාලය තුළ සිසුන් අතර
මධ්‍යස්ථානය වසා දැමීමට යන බවට වූ කටකතාව පැතිරෙමින් පැවතිණ. විශ්වවිද්‍යාල
විෂයෙහි පවත්වන Research Assessment Exercise දර්ශකයෙන්
ඉතා නරක තත්වයක් මධ්‍යස්ථානය ලබාගෙන ඇති බවත් ඒ අනුව දෙපාර්තමේන්තුව වසා
දැමීමට යන බවත් කටකතාවලින් පැවසිණ. මධ්‍යස්ථානය රැක ගැනීම සඳහා වූ සියලු රැකවරණ වැඩසටහන් නොතකා 2002 ජුනි මස 21 වාර අවසානයත් සමග දෙපාර්තමේන්තුව වසා දැමීමට ගත් තීරණය පිළිබඳ ඊ -මේල් පණිවිඩ ලැබිණ. 2002 ජුනි 26 දින එම තීරණය සනාථ කරමින් මධ්‍යස්ථානය වසා දමන ලදි.
සිසුන් හා කාර්යමණ්ඩලය මධ්‍යස්ථානය රැක ගැනීම සඳහා
සටන් ව්‍යාපාර අරඹන ලදි. ජාතික මාධ්‍යයන්හි පුඵල් අවධානයක් ඒ කෙරේ යොමු ව
පැවතිණ. ලොව පුරා විසිර සිටින ආදි සිසුන් වෙත ලිපි යැවිණ.
විරෝධතාකරැවන්ගේ තර්කය වූයේ ආර්.ඒ.ඊ නිර්නායකවලට අනුව රජය විසින්
විශ්වවිද්‍යාල වෙත ලබා දෙන ප්‍රතිපාදන සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස
සංස්කෘතික අධ්‍යයන දෙපාර්තමේන්තුව වසා දැමුණි නම් එය පුදුමසහගත බවයි.
සමාජීය විද්‍යා දෙපාර්තමේන්තු අතර වැඩි ම ආදායමක් ඉපයූ එමෙන් ම ආර්ථික
ඉපයීම් අතින් පොහොසත් ම දෙපාර්තමේන්තුව වූයේ සංස්කෘතික අධ්‍යයන
දෙපාර්තමේන්තුවයි. එය ම වසා දැමීම ආර්ථික අර්බුධයක් පිළිබඳ බලධාරීන්ගේ ප්‍රවාදය හෙළිදරව් කරන්නක් බව විරෝධතාකරැවන්ගේ අදහස විය.
විවිධ විචාරකයන් ද මේ වසා දැමීම පිළිබඳ මත පළ කරන ලදි.එක් බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු පැවසූයේ සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා වූ මධ්‍යස්ථානය ප්‍රමාද වී දඬුවමට ලක් කර ඇති බවයි. එහි වූ රැඩිකල් දේශපාලන භාවිතය සෘජු ව දඬුවමට
ලක් කළ නොහැකි වූ පාලන අධිකාරිය මෙවැනි වක්‍ර පියවරක් මගින් එය ඉටු කර
ගත් බව ඔහුගේ මතය විය. සෘජු ලෙස ම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමඟ
අරගලකාරී විරෝධතා ගෙන ගිය වාමවාදී දෙපාර්තමේන්තු අතර සංස්කෘතික අධ්‍යයන
දෙපාර්තමේන්තුව පෙරමුණේ සිටි බව බර්මින්ග්හැම් විශ්වවිද්‍යාල ඉතිහාසය
සාක්ෂි දරයි. ජනතාවට ආදරය කළ ශාස්ත්‍රයේ ස්වාධිනත්වය හා ජනතාවාදී ඉදිරි එළඹුම් වෙනුවෙන් ඓන්ද්‍රීය ව කැප වූ බුද්ධිමතුන් පිරිසක් පිළිබඳ උරැමයක් ඊට ඇත. 1960 සහ 1980 අතර කාල වකවානුව ඒ විප්ලවවාදී භාවිතයේ ස්වර්ණමය අවධිය යි.
මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තු ෙවත අනුයුක්ත කෙරිණ. එක් අයෙකු සමාජ
ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙතත්, තවත් අයෙක් ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව
වෙතත් දෙදෙනෙකු යුරෝපියානු අධ්‍යයන මධ්‍යස්ථානය වෙතත් මාරැ කෙරිණ. ඉතිරි
දහ දෙනා ම වසරක වැටුප් සහිත ව විශ්‍රාම යාමේ චක්‍රලේඛයකට අනුව සිය
කැමැත්තෙන් ම විශ්‍රාම ගන්නා ලදි.
බර්මින්ග්හැම්
විශ්වවිද්‍යාලය 2003 වසරේ දී දේශපාලන විද්‍යා හා ජාත්‍යන්තර අධ්‍යයන
දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩේව්ඩ් මාෂ් ගේ මූලිකත්වයෙන් නව සමාජ විද්‍යා
දෙපාර්තමේන්තුවක් ඇරඹු අතර එයින් සංස්කෘතික අධ්‍යයනය යන කොටස ඉවත් කොට
තිබිණ. නව අධ්‍යයනාංශයේ වැඩබලන අංශ ප්‍රධාන ලෙස මහාචාර්ය මාෂ් පත් විය. වසා
දැමීමට පෙර බ්‍රිතාන්‍ය භාරකාරමණ්ඩල ප්‍රස්තාරයේ සමාජ විද්‍යාව සඳහා ඉහළින් ම සිටි දෙපාර්තමේන්තුව වූයේ “සංස්කෘතික අධ්‍යයන හා සමාජ විද්‍යා”
දෙපාර්තමේන්තුවයි. වසා දැමීම දක්වා ම එම තත්වය එක දිගට පවත්වාගෙන යාමට
ඔවුහූ සමත් වූහ. මෑතක කළ ශ්‍රේණි ගතකිරීම්වලට අනුව අඵතින් බිහි කළ
බර්මින්ග්හැම් සමාජ විද්‍යා අධ්‍යයනාංශය ප්‍රස්තාරයේ සිව් වන ස්ථානය දරයි.
2002 ජුනි මස 26 වන දින සිට සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය වසා දමා 2010 ජුනි මස 26 දිනට වසර අටක් සපිරේ.
මධ්‍යස්ථානය වසා දැමූ අවස්ථාවේ ඊට සෘජුව විරෝධය පාමින් අප කියාසිටියේ
බ්‍රිතාන්‍ය සිය අධ්‍යාපනික ඉතිහාසයේ දරැණුතම අනුවණකම කළ බවයි. වසර දහයක්
යන්නට පෙර බ්‍රිතාන්‍ය සංස්කෘතිය තුළ මේ වසාදැමීමේ ප්‍රතිඵල පිළිබිඹු වනු
ඇතැයි අප පෙර දකින ලදි.දේශපාලන අස්ථාවරත්වය, ඉච්ඡා භංගත්වය, ත්‍රස්තවාදය වර්ධනය වීම හා ආර්ථික අවපාතයක් දක්වා අස්ථාන පාරිභෝගික රටාව විසින් ජන සමාජය ඇදගෙන යාම හරහා එය ප්‍රකාශයට පත් වේ. සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා
වු මධ්‍යස්ථානය සමාජ පර්යාය නිවැරදි ව මෙහෙයවීම විෂයෙහී දැක්වූ දායකත්වය
ඇගයීමට තරම් නුවණක් එරට පාලක පන්තිය සතු නොවීමේ වන්දිය අද එක්සත් රාජධානිය
විසින් ගෙවමින් සිටියි. වසර අටක් ගත ව ගිය තැන බ්‍රිතාන්‍ය දේශපාලන
ආර්ථික දේහය තුළ මතු ව ඇති මහා වියවුල් විසින් අද වන විට ඒ අනාවැකිය සනාථ
වී ඇත.
එහෙයින් සංස්කෘතිය වැනි සංවේදී විෂය ෙක්‍ෂ්ත්‍ර තුළ සිදු කරන වෙනස්කම්
හා මැදිහත්වීම් දිගුකාලීන ප්‍රතිඵල ජනනය කරන බව මතකයේ රඳවාගෙන කළ යුතු ය.
කලක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව සිටි හෙයින්දෝ ලාංකේය තත්වයන් ද මීට
හාත්පසින් සමාන බවක් උසුලයි. සමකාලීන සංස්කෘතිය අධ්‍යයනය සඳහා වු මධ්‍යස්ථානය වසා දැමීම සිද්ධියක් ලෙස අධ්‍යයනය කරන මානව වංශවේදියෙකුට ඉන් උගත හැකි පාඩම් බොහෝ ය.
No comments:
Post a Comment